Thursday, October 16, 2014

මිය ගිය ඥාතීන්ට පිං දීමට නියම වූ දිනයන් ඇත්ද ?

අපේ පන්සලට එන දායක ඇත්තන්ගෙන් සමහරුන්ට තියන ලොකුම ප්‍රශ්ණයක් තමයි කෙනෙක් මිය ගියාට පස්සේ හත්දවසෙන් තුන්මාසෙන් අවුරුද්දෙන් පින්කම් කරනවනේ. අන්න ඒ පිංකම් හරියටම ඒ දිනේටම කරන්න ඕනද කියන එක. හරියටම ඒ දිනේටම පිංකම කරගන්න බැරි වුනොත් දායක ඇත්තො තදබල විදියට සිත් තැවුල් ඇති කරගන්නවා. සමහරු හාමුදුරුවරු එක්ක රණ්ඩුත් වෙනවා. 

ඇත්තටම ඇයි මේ කෙනෙක් මිය ගියාම හරියටම හත් දවසකින් පිංකම් කරන්නේ...?

හත් දවසින් විතරක් නෙමෙයි.. තුන්මාසෙන් ,අවුරුද්දෙන් මේ කරන හැම පිංකමක්ම මිනිස්සුන්ම හදාගත්තුවා. බුදුහාමුදුරුවෝ කවදාවත් දේශනා කළේ නැහැ අහවල් අහවල් දිනේට මිය ගිය අයට පිං දෙන්න කියලා. ඒ නිසා එදාටම දෙන්න ඕන කියලා දෙයක් නැහැ. හදිස්සියක් වුනොත් දින පහුවෙලා දුන්නත් ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. මැරිච්ච කෙනාගේ ආත්මය සතියක් ගෙදර තියනවලු. හත් වෙනි දවසෙලු ඒ ආත්මය ගෙදරින් යන්නේ. ඒක නිසා හත්වෙනි දවසේ දානයක් දීලා ඥාතිවරයට පිං දුන්නොත් එයා යහපත් ආත්මයක උපදියිලු. මෙන්න මේ වගේ අන්‍යාගමික මත බෞද්ධයෝ විසින් පිළිගත්තු නිසා තමයි අද බුදු දහම විකෘති වෙලා තියෙන්නේ.
                                                           

ඒ නිසා ඔබට කැමති දවසක මිය ගිය අය වෙනුවෙන් පිංකම් කරන්න. මැරිච්ච කෙනා පිං ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් පිංකම් කවදා කරත් එකයි. පිනේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොමින් කොහොමහරි මේ පිංකම් කරන්න දින නියමයක් ආපු එකේ වැරැද්දකුත් නැහැ. මොකද එහෙම දින නියමයක් තිබුණෙ නැත්නම් අද වෙනකොට එහෙම පිංකම් කරන අය හොයාගන්නවත් නැතිවෙනවා. මොකද අද බොහෝ අය බණක් අහන්නේ දානයක් දෙන්නේ තමන්ගේ කෙනෙත් මැරුණු දවසක විතරයි. හදිස්සියෙන් තැනක තමයි හේතුවක් නැතුව පිංකමක් කරන්නේ. ඒ නිසා ඉදිරියටත් දින හතෙන් ,තුන් මාසෙන්, අවුරුද්දෙන් පිංකස් කිරීමෙහි වරදක් නැහැ. ඒත් යම් යම් හේතු නිසා ඒ දිනේටම පිංකම කරගන්න බැරිවුනා කියලා කිසිම දවසක සිත් තැවුලට පත්වෙන්න එපා.


සබ්බ පාපස්ස අකරණං - සියලූ අකුසලින් දුරුවීම
කුසලස්ස උපසම්පදා - කුසල් කිරීම හා දියුණු කිරීම
සචිත්ත පරියෝදපනං - තමාගේ සිත පිරිසිදු කිරීම
ඒතං බුද්ධාන සාසනං - මෙය සියළු බුදුවරයන්ගේ අනුශාසනාවයි.

0 comments:

Post a Comment

කමෙන්ට් එකක් දාලාම යන්න...

මගේ ස්කයිප් එක

Add me to Skype

Followers

Blogger news

lankeeya sithuwili