Sunday, October 19, 2014

වැරදි ඇතොත් කියා දෙන්න. මං කැමතියි හදා ගන්න

ඔයා සර්ව සම්පූර්ණද ? මේ ලෝකයේ සර්ව සම්පූර්ණ වෙන්න අපි හැමෝටම බැහැ. ඔයා හිතනවද ඔයා වැරදි කරන්නේ නැති කෙනෙක් කියලා.. ? "මම නම් වැරදි කරලත් නෑ. ඒ නිසා මම කාටවත් භයත් නෑ." මෙහෙම කිය කිය වැරදි කරන අය සමාජේ කොච්චර ඉන්නවද ? ඔයත් එහෙම කෙනෙක්ද ?? හැබැයි ඉතිං කථාව නම් ඇත්ත. වැරදි කළේ නැතොත් භය වෙන්න ඕනේ නෑනේ. මැරෙන්නවත් භය වෙන්නේ නෑ එහෙම මිනිස්සු. මැරෙන්න භය වෙන්න ඕන වැරදි කරන මිනිස්සුයි. 

ඇත්තටම වැරදි කරන්නේ නැති කෙනෙක් මේ ලෝකේ නෑ. අපි හැමදෙනාගෙම අතින් වැරදි වෙනවා. මගේ අතිනුත් වැරදි වෙනවා. හාමුදුරුනමක් වුනා කියලා රහත් වෙලා නෑනේ. හැබැයි ඉතිං අපේ ගොඩක් මිනිස්සු හිතං ඉන්නේ සිව්ර දාගත්තු ගමන්ම රහත් වෙනවා කියලා. හැමතැනම හොයන්නේ හාමුදුරුවුරුන්ගේ වැරදි විතරනේ. හොඳ හොයන්නේ නැහැනේ. 

ඇත්තටම එහෙම වැරදි හොයන්නේ හාමුදුරුවරුන්ගේ විතරමද ? නැහැ. අපි වටා ඉන්න අය බොහො දෙනෙක් අපේ හොඳ දේවල් නෙමෙයි හොයන්නේ. අපේ වැරදිමයි හැම කෙනාටම පේන්නේ. මේක ලෙඩක් වගේ හැමතැනම බෝ වෙලා. ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා ගැන හිතන්න. ඔයාට පෙනෙන්නේ ඇයගේ/ඔහුගේ  වැරදි පමණද ? ඇයගේ හෝ  ඔහුගේ එක හෝ හොඳක් ඔයාට දකින්න පුළුවන්නම් ඒ හොඳ ඔයාට අගය කළ හැකි නම් එය වැරදි විවේචනය කරනවාට වඩා හොඳයි. තිබෙන එක හොඳ ගතිගුණය අගය කිරීම නිසා සමහරවිට ඔහු හෝ ඇය ඇති වැරදිත් හදා ගනීවි. හැම ඝන වළාකුලකම රිදී රේකාවක් ඇත කියලා කියනවනේ. ඒ වගේම ඕනම වැරදි කරන පුද්ගලයෙක්ගේ හොඳ ගතිගුණ තියනවා. අන්න ඒ හොඳ ගතිගුණ ඔහු/ඇය ඉදිරිපිටම අගය කරන්න පුරුදු වෙන්න. එතකොට ඔහු/ඇය හොඳට හැදෙන්නත් පුළුවන්.

ස්වභාවයෙන්ම ඔයාට පෙනෙන්නේ අනුන්ගේ වැරදිය. අනුන්ට පේන්නෙත් ඔයාගේ වැරදිය. ඔයාගේ වැරදි දකින අය ඒ වැරදි මොනවාදැයි ඔයාට කියන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම කියන අයත් ඉන්නවා. නමුත් ඔයා නැති වෙලාවල්වල ඒ වැරදි අනුන් එක්ක කියවන අය තමා ගොඩක් ඉන්නේ. එහෙම වෙන්නේ ඔයා ඔයාගේ වැරදි අන්‍යයන් කියනවාට අකමැති හින්දා වෙන්නත් පුළුවන්. ඔවුන් ඒ වැරදි ඔයාට පෙන්නල දෙන්න තරම් අවංක වෙනවානම් කොච්චර හොඳද. ඔයාට පෙනෙන ඔයාගේ වැරදි මොනවද කියලා ඔයා අනික් අයගෙන් අහන්න. ඒවා අහන්න කැමතියි කියලා ඒ අයට කියන්න. සමහර වෙලාවට ඒ අය ඔයාට කියන දේවල් ඔයාගේ වැරදි නොවෙන්නත් පුළුවන්. එහෙම වුනත් ඔවුන් කියන්නේ මොනවද කියලා අවංකව අහගෙන ඉන්න. ඒ වගේම ඔයාගේ වැරදි තියනවනම් ඒවා හදාගන්න උත්සහ කරන්න. අනික් අයගේ වැරදි තියනවනම් ඒවා පෙන්වලා දෙන්න කරුණාවෙන්. ගහන්න බනින්න යන්න එපා. ඔයා පෙන්වල දෙන වැරැද්ද සමහරවිට නිවැරදි නොවෙන්නත් පුළුවන් කියලත් කියන්න. ඔයාට ඕන විදියට එයා වෙනස් වෙන්න ඕන කියලා හිතන්න එපා. වැරදි පෙන්නලා දෙන්න. ඒක ඔයාගේ යුතුකමක්. අපිත් අපේ වැරදි ටිකෙන් ටික හදාගන්න උත්සහ කරමු. ටිකෙන් ටික හොඳ පුරුදු වැඩි කරගමු. 

අපි වැරදි කරන්න ලැජ්ජා වෙන්න ඕන. භය වෙන්න ඕන. තුන් දොරම සංවර කරගන්න පුළුවන් එතකොට. නැත්නම් වෙන්නේ ජීවිතේ අවසාන කාලේදි පසුතැවිලි වෙන්නයි. තමන්ගේ අතින් සිදුවුනු වැරදි මතක් කර කර හූල්ලන්න වේවි. මැරෙන්න භය වැඩි වේවි. යමක් කරන්න කළින් ඒ පිළිබඳ නැවත හිතලා කටයුතු කරමු. තමන්ටත් අනුන්ටත් වැඩක් වෙන දෙයක් කරන්න හැම වෙලාවකම උත්සාහ කරමු. හැම කෙනාගෙම නරකට වඩා හොඳ දකින්න පුරුදු වෙමු. ඒවා ඔහු/ඇය ඉදිරිපිටම අගය කරන්න පුරුදු වෙමු. පුළුවන් විදියට හැමෝටම උදව් කරමු. හැමොටම තෙරුවන් සරණයි.....!!! 

අදහසක් දාලා ගියොත් තමා හොඳ. අහක බලං යන්නේ නැතුව.

2 comments:

Unknown said...

අපේ හාමුදුරුවනේ...................

ලිපිය නම් හරිම අගෙයි. අද තමයි මේ අඩවියට අාවේ. දිගට ම ලියන්න. අපි ඒන්නම් මේ දැනුම ලබා ගන්න...

Unknown said...

බොහෝම ස්තුතියි....... !

Post a Comment

කමෙන්ට් එකක් දාලාම යන්න...

මගේ ස්කයිප් එක

Add me to Skype

Followers

Blogger news

lankeeya sithuwili